තොරතුරු පනතින් ජනතා මූලික පාලන අරමුණු ඉටුවෙමින් පවතිනවා -අමාත්‍ය මංගල සමරවීර

තොරතුරු දැන ගැනීමේ පනත මගින් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන කුලුනු තුන වන ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධන අරමුණු ඉටු වෙමින් පවතින බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැවැති පාලනය මගින් යටපත් කිරීමට උත්සහ කළ ඇතැම් සිදුවීම්වල සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට ද මෙම පනත ඔස්සේ ජනතාවට අවස්ථාව උදාවන බවයි.

2011 වසරේ දී ඝාතනයට ලක් වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවකයකු වූ රොෂේන් චානකගේ මවට සිය දරුවාගේ මරණය පිළිබඳ වාර්තාව පවා ලබා ගත හැකි වූයේ මෙම පනත හේතුවෙන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේ  ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දී වසරක් ගතවීම නිමිත්තෙන් අද (28) දින වැල්ලවත්ත ග්ලෝබල් ටවර්ස් හෝටලයේ දී පැවති විශේෂ වැඩමුළුවේ දීය.  

අමාත්‍යවරයා එහි දී සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
 
“අද ලෝකය පුරා ජාතික තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය සැමරෙන බව අපි කවුරුත් දන්නවා. ඇත්තෙන්ම ලෝකයේ අනෙකුත් දියුණු රටවල් තොරතුරු දැනගැනීම මහජන අයිතිවාසිකමක් ලෙස පිළිඅරගෙන නීතිගත කරලා විශාල කාලයක් ගතවී තියෙනවා.  උදාහරණයක් විදියට ගත්තොත් ස්වීඩනය අවුරුදු දෙසීයකට කලින් පොදු ආයතනවලින් මහජනයා තොරතුරු දැනගැනීම පිළිඅරන් තියෙනවා.  අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කරලා 1948 මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය නිකුත් කළා.  ඒකේ “ආටිකල් 19” විදියට කවුරුත් දන්න වගන්තිය වෙන්වෙලා තියෙන්නේ සෑම කෙනෙකුටම යම් මතයක් දැරීමට එසේම එය ප්‍රකාශ කිරීමට වගේම තොරතුරු ඉල්ලා සිටීමට ලබාගැනීමට ඇති අයිතියයි.  

ඒ වගේම මාධ්‍යවලින් අදහස් උකහා ගැනීමට ඇති පුද්ගල අයිතිය ඒ විශ්ව ප්‍රකාශයේ පිළි අරන් තියෙනවා.  ඒ වගේම අපි ගත්තොත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (ICCPR) දැනට රටවල් 160 ට අධික ප්‍රමාණයක් ඒක පිළිඅරගෙන තියෙනවා.  මේ ජාත්‍යන්තර නීති සහ ප්‍රකාශන දශක ගණනාවකට ඉස්සර එළිදක්වා ඇතත්, ඒවායේ ඇති තොරතුරු සහ අදහස් මිනිස් සමාජය පුරා නිදහසේ පැතිර යාමේ සංකල්පය ගැබ්වෙලා තියෙනවා.  

තවදුරටත් තොරතුරු දැනගැනීම පිළිබඳ ඇති වටිනාකමට අවධානය යොමු කරොත් අපිට පුඵවන් ලෝකය පිළිගත් විද්වතුන්, ඒ වගේම නීති විශාරදයින් ඒ ගැන දක්වලා තියෙන අදහස්වල ස්වරූපය ගැන දැකගන්න.  

නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය ජෝෂප් ස්ටිග්ලිට්ස් (Joseph Stiglitz) කියනවා තොරතුරු දැනගැනීමට ජනතාවට නැති නිලධාරීන්ට පමණක් ඇති අසමාන හැකියාව නිසා “පුරවැසියන්ට අවශ්‍ය නොවන එහෙත් තමන්ට පමණක් අවශ්‍ය වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට ඉඩකඩ සලසා දෙයි.  තොරතුරු සහ ඒවා බෙදාහැරීම පිළිබඳ නීතිරීති දියුණු කිරීම තුළින් නිලධාරීන් අතින් සිදු විය හැකි තොරතුරු අවභාවිතය අවම කළ හැක” කියල.

ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ ජනතාව වෙත රාජ්‍ය තන්තයේ ඇති වගකීම සහ යහපාලන මූලධර්ම වඩා හොඳින් ඉස්මතු වෙනවා.  මේ තත්ත්වය තේරුම් අරන් තමයි අපි 2015 ජනවාරි, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට දින 100 වැඩපිළිවෙල යටතේ ඒ වගේම අගෝස්තු මහමැතිවරණයේ දී මාස 60 කින් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරන බව අපි සඳහන් කළා.  

ඒ ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරමින් අපිට විවිධ අභියෝගවලට මුහුණදෙමින් වුවත් පසුගිය වසරේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත නීතිමය ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරන්ට හැකි වුණා.  ඒ වගේම අපි 1978 වර්ෂයෙන් පස්සෙ පළමු වතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් ලෙසට ඇතුළත් කළා.  

මං හිතන්නෙ අද වෙනකොට මහජනතාවට මේ පනතේ ඇති වැදගත්කම දැනෙන්න පටන් අරන් තියෙනවා.  ඒ කියන්නෙ අපේ රජයේ මූලික පදනම විදියට ඇතිකර ගත්තු ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය පෙරටුකොට ගත්ත ජනතා මූලික පාලන අරමුණු ඉටුවෙමින් පවතිනවා.  අර අවුරුදු ගාණක් තමන්ගේ පුතාට අත්වෙච්ච අකල් මරණය ගැන හිත හිත හිටපු කටුනායක රොෂෙන් චානක වෙළඳ කලාප සේවකයාගේ මවට මේ පනත යටතේ සිදු කළ ඉල්ලීමක් නිසා එළියට නොදා තිබුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක්  ලබාගන්න හැකිවුණා.  ඇත්තටම 2011 සිද්ධවෙච්ච මේ මරණය පිළිබඳ වාර්තාව ඒ කොමිෂන් සභාව ඒ වර්ෂයේ දීම හිටපු ජනාධිපතිවරයට ලබා දී තිබුණා.  තවත් එවැනි උදාහරණ ගණනාවක් තියෙනවා.  කන්තලේ ගොවි මහත්තයෙක් මෙතෙක් කල් ගෙදරට නොලැබුණු තැපැල් ලියුම් තොරතුරු ඉල්ලුම්පතක් ඉදිරිපත් කරලා තමන්ට සාධාරණය ඉෂ්ඨ කරගත්තා.  පානම පළාත ගත්තොත් ඉඩම් පිළිබඳ ප්‍රශ්න තිබුණු ඒ ප්‍රදේශයේ ජනතාව රජයේ ආයතනවලින් මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැන් නීතිමය ආකාරයකට තමන්ට අවශ්‍ය විස්තර ලබාගන්නවා.  

තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වල දීලා වසරකට වැඩි කාලයක් ගතවෙන මේ මොහොතේ අපි මේ වැඩමුඵව පවත්වන්නේ තවතවත් ජනතාව සම්බන්ධ කරගනිමින් ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම්වලට, නිලධාරීන්ට, වගේම පාලනයේ අනිත් කොටස්කරුවන්ට පනත සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධය වැඩි කරන්නයි.  

මේ පනතේ තියෙන විශේෂත්වය තමයි -  මං හිතන්නේ ඒක මුඵ ලෝකෙටම අදාළ දෙයක් - තොරතුරු ලබාදීමේ දී යම් යම් අත්‍යාවශ්‍ය විෂයයන් සම්බන්ධයෙන් සීමා පැණවීමක් සිදුකරන්න වෙලා තිබෙනවා.  ඒ කියන්නේ කෙනෙක්ගේ පුද්ගලිකත්වය, අනවසරයෙන් ආක්‍රමණය නොකරණ විදියට පනත ක්‍රියාත්මක වෙනවා.  අනිත් එක තමයි රටේ පාලනයට අදාළ මූලික නීතිරීතින් සහ සංවේදී කරුණු පිළිබඳව පනතේ 5 වෙනි වගන්තිය වෙන්කරලා තියෙනවා.  ඒත් එක්කම හැබැයි නීතිමය පදනමක් මත තොරතුරු ලබාදීමක්  ප්‍රතික්ෂේප වුණොත් ඒ ගැන අභියාචනා කිරීමට අවස්ථාවක් පනතින් ලබාදීලා තියෙනවා.  

සමහරුන්ගෙ මතයක් තියෙනවා නීතිමය තත්ත්වයන් තුළ රජයේ සේවකයන් කටයුතු කිරීමේ දී ඔවුන් අධෛර්යයට පත්වෙනවා.  ඒ වගේම ඔවුන් නීතියට බිය වෙලා වැඩ නොකර ඉන්නවා කියලා.  ඇත්තටම ඒක පිළිගන්න පුඵවන් තර්කයක් නෙමෙයි.  මොකද අපි දිගටම නිලධාරීන් පුහුණු කිරීම සිදු කරනවා.  ඒ වගේම ඔවුන්ට නීතිරීති නොකඩා එහෙත් උපරිම කාර්යක්ෂමතාවයෙන් මහජන සේවය ලබාදෙන්න ඔවුන්ව උනන්දු කරනවා.  

මේ පනත ගත්තොත් මේ වෙනකොට රාජ්‍ය ආයතනවලින් තොරතුරු නිලධාරීන් 3000 ක් පමණ පත්කරලා තියෙනවා.  ඊට අමතරව තවත් 500 ක් විතර මේ විෂය සම්බන්ධයෙන් කටයුතු කරනවා.  අපි දැනටමත් පළාත් වැඩමුළු 9ක් පවත්වලා තියෙනවා.  ඒ වගේම අමාත්‍යාංශවලට සම්පත්දායකයින් ලබාදීලා තියෙනවා.  

මේ මාසේ විතරක් අමාත්‍යාංශ 21 ක් ආවරණය වන පරිදි පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් දෙකක් පවත්වලා තියෙනවා.  මාධ්‍යවේදීන් 700 ක් පමණ දැනුවත් කරලා තියෙනවා.  ඒ වගේම මේ මාසේ දී මාණ්ඩලික නිලධාරීන් 61 දෙනෙකුට සේවාසික පුහුණුව ලබා දී තියෙනවා.

ඔබ කවුරුත් දන්නවා මේ මෑතක දී අපි 2025 වසර දක්වා දිවෙන පොහොසත් රටක්, 2025 දැක්ම ඉදිරිපත් කළා.  එහි දැක්වෙනවා රජය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නඟා සිටුවීමටත්, ශක්තිමත් කිරීමටත් පියවර ගන්නවා කියලා.  ඒ වගේම රජය සෑම මට්ටමක දී ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ගරු කරන බවත්, සහතික කරන බවත්, ඒ දැක්ම තුළින් ඉදිරිපත් කරලා තියෙනවා.  

අපි මෑතක දී අන්තර්ජාල සබඳතා වෙනුවෙන් බදු සහන ලබාදුන්නා.  ඒක නිසා මට කියන්න පුඵවන් අපි රටක් විදියට ඉතා ඉක්මණින් ඉදිරියට ගමන් කරන බව.  මේ සංකල්ප ඔස්සේ ඉදිරියට ගියොත් මාධ්‍ය නිදහස තවතවත් තහවුරු වී ඒ වගේම නූතන තාක්ෂණයේ දැනුම මහජනතාව අතර තවදුරටත් පැතිර ගිහින් දැනුමින් පිරිපුන් රටක් බිහිවෙයි කියලා මං විශ්වාස කරනවා. ”

Search