ගමට තොරතුරු අයිතිය ජංගම සේවා වැඩසටහන මාලාවේ දකුණු පළාත් වැඩසටහන පසුගියදා (2019.12.20) හම්බන්තොට, මිරිජ්ජවිල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය AFRIEL තරුණ සංවිධානය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් මෙම පළාතේ පුරවැසියන් 200 කට පමණ සෙත සැලසිණි.
සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව සහභාගී වූ පුරවැසියන් හට තොරතුරු අයිතිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දී ඔවුන්ව කණ්ඩායම් 06 කට වෙන් කරන ලදී. මෙහිදී තොරතුරු පනත සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු සඳහා උපදෙස් ලබාදීම ද සිදුකෙරුණි. එමෙන්ම තොරතුරු ඉල්ලුම්පත් සම්පූර්ණ කිරීම සහ පොදු අධිකාරීන් නිශ්චිතව හඳුනාගැනීමටත් පුරවැසියන්ට අත්වැලක් සැපයිණි.
මෙම වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ජගත් පර්සි රෝහිත, නිතීඥ ජගත් ලියනාරච්චි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.එච්.ලක්ෂාන් ද සොයිසා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එස්.එච්.යූ.එන්.ධම්මික යන මහත්වරුන් සම්පත්දායකයින් ලෙස සහභාගී විය.